231 Front Street, Lahaina, HI 96761 info@ridma.org 808.123.4567

අද සිදුවන ජාතික විපත් 1955 දී දුටු රතු නායකයා!

යූ. ඊ. පෙරේරා
B. A. ආර්ථික විද්‍යා – පේරාදෙණිය හිටපු ප්‍රධාන ලේකම්
– කොමියුනිස්‌ට්‌ තරුණ සමිති සම්මේලනය


සෑහෙන කාලයක සිට දිගින් දිගටම ඇද හැලුණු මහා වර්ෂාවත්, හෝදා පාළුවත්, ගංවතුරත් නිසා අපේ මවුබිමට විශාල ආර්ථික හා සමාජමය හානියක්‌ සිදුවී තිබේ. දසදහස්‌a ගණනක්‌ අනාථ වී සිටිති. විවිධ මාධ්‍ය ඔස්‌සේ මුළුමහත් රටටම මුහුණ දීමට සිදුවුණු මේ ජාතික ෙ€දවාචකය මැනවින් අනාවරණය විය.

මේ විනාශයට අද සිටින දේශපාලකයන් මොන හේතු පෙන්නුම් කළත්, මේ දීර්ඝ කාලීන අර්බුදයට විද්‍යානුකූළ හේතු රාශියක්‌ කල්තියා පෙන්නුම් කළේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ ව්‍යාපාරයේ ආදී කර්තෘ දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේත්, පාර්ලිමේන්තුවේත් මන්ත්‍රීවරයෙකු වශයෙන් දීර්ඝ කාලයක්‌ සේවය කළ දොස්‌තර වික්‍රමසිංහ 1955 මැයි මාසයේදී “ඉදිරි මඟ – ලංකාවට ආර්ථික ප්‍රතිපත්තියක්‌” යන විද්‍යානුකූල නිබන්ධනය ප්‍රකාශයට පත් කළේය. මෙම නිබන්ධනය කොටස්‌ 17 කින් සමන්විතය.

වර්තමාන අර්බුදය, අප පාලකයන්ගේ ස්‌වරූපය, “සුබසාධක රජයේ අවසානය, අස්‌ථිර භාවයේ සාධකයෝ, ලංකාවේ භූමි නිර්මාණය අපට නිධානයක්‌ තිබේද? වතුර හා බලය, හෝදා පාළුව, ජල ගැලීම් විපත්තිය, විද්‍යාත්මක කෘෂි කර්මාන්තයේ මූලික සිද්ධාන්ත, පස එහි වගාව හා සශ්‍රීකත්වය, කෘෂිකර්මයේ ඵලදායකත්වය පිළිබඳ ප්‍රශ්නය, ගල්ඔය ක්‍රමය අසාර්ථක වෙයි. තවත් ආර්ථික ප්‍රශ්න, රට කර්මාන්තමය කිරීමේ ප්‍රශ්නය, අනාගතයට පාරවල් දෙකක්‌, ක්‌ෂණික කාර්යයෝ, එම කොටස්‌ 17 ය. මෙයට උප ග්‍රන්ථයක්‌ද එකතු කර තිබේ.

ලංකාවේ අර්ථික අර්බුදය මැනවින් විග්‍රහ කර ඇති මේ නිබන්ධනය සකස්‌ කිරීමේදී දොස්‌තර වික්‍රමසිංහට අති විශාල පරිශ්‍රමයක්‌ දැරීමට සිදුවිය. මේ සඳහා ඔහු අවුරුදු ගණනාවක්‌ මෙරට හා විදේශීය පුස්‌තකාලවලට ගොස්‌ පරීක්‌ෂණ පැවැත් වූයේය. කෘෂිකර්මාන්තය පිළිබඳ විශාරදයන් සමඟ සාකච්ඡා කළේය. උපදෙස්‌ ගත්තේය. උපදෙස්‌ ලබා ගැනීමේදී ඔහු ඉතාමත් අපක්‌ෂපාතී විය.

හෝද පාළුව නම් පරිච්ඡේදය ඔහු මෙසේ සඳහන් කරයි. “වත්මන් වෙළෙඳ වැවිලි ආර්ථික ක්‍රමයට අප රටේ ආර්ථික ජීවිතයේ මුල්තැන ලැබී තිබීමේ එක පැහැදිලි ප්‍රතිඵලයක්‌ නම්, ලංකාවේ පෘථුල ලෙස පැතිරී තිබෙන හෝදා පාළුවයි. කෙලින්ම වෙළෙඳ වැවිලි ක්‍රමයේ ප්‍රතිඵලයක්‌ වන මේ හෝදා පාළුවෙන් අද අපි පාඩු හා පීඩා විඳින්නෙමු. එබැවින්, හෝදාපාළුවෙන් ප්‍රතිඵලයක්‌ වශයෙන් නොකඩවාම අපගේ භූමියට කෙරි ගෙන යන මේ සදාකල් පවතින අලාභහානිය කෙරෙහි අප ජනතාවගේ සැලකිල්ල යොමු කිරීම, අප විසින් කළ යුතු ඉතාමත් හදිසි වූද, වැදගත් වූද කාර්යයකි.”

1873 දී පේරාදෙණියේ මල්වත්ත භාරව සිටි වෙඉට්‌ස්‌ මහතා ආණ්‌ඩුවට පහත සඳහන් නිවේදනය නිකුත් කළේය. “ලංකාවේ විශේෂයෙන්ම මධ්‍ය පෙදෙස්‌වල, විශාල භූමි ප්‍රදේශයන්හි කැලෑ එළිකිරීම හේතු කොටගෙන මහත් විපර්යාසයන් ඇති වී තිබෙන බව දිවයිනේ වැඩිහිටි පදිංචිකාරයන්ට වේදනා සහගත ලෙස පෙනී ගොස්‌ ඇත. කැලෑ එළිකිරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් වටිනා මතුපිට ඇති පස්‌ දිය වී සේදීයැම බහුල වශයෙන් සිදුවී තිබේ. ගංගාවල් තුළට ගසා ගෙන ගොස්‌ ඇති මේ පස නැවතත් ආපසු ලබා ගැනීමට නුපුළුවන. ……….. මේ හෝදා පාළුව මේ රටේ ගම්මුන්ගේ ගොවිතැනට අලාභ හානි පමුණුවා තිබේ.”

කැලණි ගඟ

1875 දී කැලණි මිටියාවතට දුම්රිය පාරක්‌ තැනිය යුතු යෑයි යෝජනා කළ උප කැලෑ ප්‍රධානී ලුවිස්‌ මහතා ඊට හේතු වශයෙන් පහත සඳහන් කරුණු ඉදිරිපත් කළේය. “මෙතෙක්‌ කල් කැලණි මිටියාවතත්, කොළඹත් අතර ගමනාගමන හා බඩු ඇදීමේ ප්‍රධාන මාර්ගය වූයේ කැලණි ගඟයි. එහෙත් හෝදා පාළුව නිසා කැලණි ගඟේ පස්‌ ගොඩවීම කරණ කොටගෙන මේ ගමනාගමන ක්‍රමය සීඝ්‍ර ලෙස අභාවයට යයි…… ගඟ ගොඩවීමට හේතුව පැහැදිලි වශයෙන් එන්ට එන්ටම භූමි ප්‍රමාණයෙන් වැඩිවන තේ වතු ප්‍රදේශයයි.”

1916 දී තවත් විශාරදයකු වන හෝවාර්ඩ් මහතා මෙසේ වාර්තා කළේය. “දැනට තේ වතුවලින් වැසි ඇති ලංකාවේ මධ්‍ය භාගයේ කඳු බෑවුම්වල කලින් තිබූ මුකලන් ආවරණය දැන් ඉවත් කර තිබේ. ……… හෝදා පාළුව නිසා නැති වූ පස්‌වල ප්‍රමාණය අති විශාලය. පස්‌ සේදී යැම තවමත් එලෙසම කෙරීගෙන යයි. ……… දිවයිනේ කෘෂිකාර්මික මූල ධනය අපතේ යැමට ඉඩ හැර තිබේ. මොන අන්දමේ පොහොර දැමීමකින්වත් මේ වස්‌තුව යළිත් ලබාගත නොහැක.”

1925 දී ඉන්දියානු තේ සංගමයේ ප්‍රධාන විද්‍යා නිලධාරියා වූ පී. ඩී. හෝප් මහතා මෙසේ කීවේය. “සමහර දිස්‌ත්‍රික්‌කවල කිසිවක්‌ ඉතිරි නොවී පස්‌ සම්පූර්ණයෙන්ම සේදී ගොස්‌ තිබේ. තදින් වර්ෂාව වසින කාලවලදී දිවයිනේ සියලුම ගංඟාවල් රතු පාට වෙති. ඊට හේතුව ගඟේ වතුර සමඟ පස්‌ විශාල තොගයක්‌ ගසාගෙන යැමයි. කලක්‌ යන විට කඳු බෑවුම්වල කිසිම දෙයක්‌ වැවීමට නුපුළුවන් වෙනවා ඇත.”

1928 දී එංගලන්තයේ කිව් නගරයේදී පවත්වන ලද රැස්‌වීමකදී රාජකීය විද්‍යා උද්‍යානයේ ප්‍රධාන නිලධාරියා වූ ඩබ්ලිව්. හෝල් මහතා මේ ලෙස අනතුරු හැඟවීමක්‌ කළේය. “ඔබගේ දිවයින සෙමින් සෙමින් මුහුදට සේදී යන්නාක්‌ මෙන් පෙනේ.”

හෝදා පාළුව ගැන සලකා බැලීම සඳහා ආණ්‌ඩුව විසින් 1930 දී පත් කරන ලද කාරක මණ්‌ඩලයක්‌ 1916 දී ගොවර්ඩ් මහතා කරන ලද ප්‍රකාශය ගැන ප්‍රකාශය ගැන පහත සටහන් විවේචනය කළේය.

“ඉහතින් පින්තාරු කරන පින්තූරය සෑහෙන තරම් ෙ€දජනකය. නමුත් හෝදා පාළුව නිසා ඇති වන අති විනාශකාරී ප්‍රතිඵල, අභ්‍යන්තරික විනාශයක්‌ කිරීමෙන් පමණක්‌ නවතින්නේ නැත. ……… ජලය තාවකාලික ලෙස රඳවා ගන්නවා වෙනුවට සීඝ්‍ර ලෙස ඉවත් කෙරෙනු ලැබේ. …….. ඇළ, දොළ, ගංගාවල වතුර බැසීම විධිමත් ලෙස නිරන්තරව සිදුවෙනවා වෙනුවට වේලාවක්‌, නියමයක්‌ හෝ පිළිවෙළක්‌ නැතිව සිදුවේ. …….. වාරිමාර්ග, ඇළවල් සහ ගංගාවල් හිරවෙති. කඩා ගෙන, බිඳ ගෙන එන ජල පහරින් වාරිමාර්ග බැමි විනාශ වී යති. ……. පස සේදී යනු ලැබූ භූමියට පහළින් පිහිටි ගොවිතැන් වැලි සහ මඩ ගොඩවීම නිසා විනාශ වී යති. ……. ලොකු හා කුඩා වාරිමාර්ග ක්‍රමවලට හානි පැමිණේ.”

ජල ගැල්මාරක්‌ෂක විශාදරයකු වූ ඊ. වී. රිචඩ්ස්‌ මහතා 1949 දී නිකුත් කළ සිය වාර්තාවෙහි මෙසේ කියයි. “පරීක්‌ෂණයට භාජනය වී ඇති ප්‍රධාන ගංගාවල් හතරේ (මහවැලි ගඟ, කළුගඟ, නිල්වලා ගඟ සහ ගිංගඟ) ගංගාධාර පෙදෙස්‌වල හෝදා පාළුව විශාල වශයෙන් සිදුවෙන බව ඒකාන්තය.”

තේ සහ රබර් වැවිල්ල නිසා පසට කර තිබෙන හානිය මදිවාට, ඇමරිකන් දුම්කොළ සමාගම් විසින් දැන් කඳුකර පෙදෙස්‌වල දුම්කොළ වැවීල්ල පටන් ගෙන තිබේ. එයද තේ, රබර් වැවූවාක්‌ මෙන්, වග විභාගයක්‌ නැති පසට හානිදායක ලෙස කරගෙන යනු ලැබේ. දුම්කොළ වැවීම සහ වේළීම සඳහා ඔවුන් හඟුරන්කෙත හා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කවල මධ්‍යස්‌ථාන පිහිටුවා තිබේ. දිළිඳුකමෙන් පීඩනයට පත්ව ඇති ගම්මුන්ට දුම්කොළ ඇට සහ පොහොර දී තිබේ. හැකි තරම් වැඩිම ලාභ උපදවා ගැනීම සඳහා පසෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ගන්නා ලෙස ඔවුන්ට බල කරනු ලැබේ. දුම්කොළ මිල, ඇමරිකන් සමාගම් විසින් සම්පූර්ණයෙන් පාලනය කරනු ලැබේ. ගැමියන් ප්‍රවේනි දාසයන්ගේ තත්ත්වයට හෙලා තිබේ.

ජල ගැලීම් විපත්තිය

නැවත නැවත ඇති වන ජල ගැලීම් සහ නියඟයන් වූ කලී හෝදා පාළුව සමඟ ළඟින්ම සම්බන්ධ වී ඇති ප්‍රශ්aන වෙති. වාරිමාර්ග අධ්‍යක්‌ෂක තැන, 1949 අවුරුද්දේ සිය පරිපාලන වාර්තාවේ පහත සඳහන් ප්‍රකාශය කරයි. වර්ෂයක්‌ පාසා ජල ගැලීම් ඇතිවීම රටට උවදුරකි. මේ ප්‍රශ්නයට, සතුටුදායක විසඳුමක්‌ සොයා ගැනීම රටේ යහපත පිණිස වන්නේය. මේ සඳහා විශේෂයෙන් ගෙන්වා ගන්නා ලද ජල ගැලීම් විශාරද ඊ. වී. රිචර්ඩ්ස්‌ මහතා සිය වාර්තාව ඉදිරිපත් කර ඇත. ……….. ඔහුගේ යෝජනා ක්‍රියාවේ යෙදවීමෙන් රටේ ප්‍රධානම ප්‍රශ්නවලින් එකක්‌ ලෙස සලකනු ලබන මේ ප්‍රශ්නයට, යටත් පිරිසෙයින් තරමක්‌ දුරටවත් සදාකාලික විසඳුමක්‌ සැලසේ යෑයි බලාපොරොත්තුවනු ලැබේ.

එහෙත් දොස්‌තර වික්‍රමසිංහ මහතාගේ මතය අනුව මේ විශාරදයාගේ යෝජනාවල් සම්පූර්ණයෙන්ම වගේ ආණ්‌ඩුව විසින් ඉවත දමා තිබේ.

ලංකාවේ හිටපු වාරිමාර්ග අධ්‍යක්‌ෂවරයකු වන ගත්රී මහතා මෙසේ කියයි.

“ගංවතුර වූ කලි අපේ විශාලම ජාතික ධනය වෙයි. මේ ජල ස්‌කන්ධය අහිංසක ලෙස මුහුදට ගලා බස්‌ස වනු පිණිස පැලෑන් සකස්‌ කිරීම, සිය දිවිනසා ගැනීමක්‌ වැනිය.”

ගංවතුර එලෙස මුහුදට ගලා යැමට ගත් වෑයම අසාර්ථක වීමෙන් පසු යූ. ඇන්. පී. ආණ්‌ඩුව දැන් ප්‍රධාන ජල ගැලීම් වැළක්‌වීමේ ක්‍රම අතහැර දැමීමට තීරණය කර තිබේ. වර්ෂයක්‌ වර්ෂයක්‌ පාසා ජනතාවටත්, පසටත් අති දැවැන්ත හිංසාවක්‌ හා විනාශයක්‌ කරමින් අපේ මේ විශාල ජාතික ධනය මුහුදට ගලා යැමට ඉඩ දී තිබේ.”

ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ නායකයා වූ දොස්‌තර වික්‍රමසිංහගේ මේ නිබන්ධනය පිටු 126 කින් සමන්විතය. මේ පිටු 126 ගැබ්විත කරුණු එකින් එක ගෙන විග්‍රහ කිරීම මේ අවස්‌ථාවේදී දුෂ්කරය. මා මෙහිදී දැක්‌වූයේ දැනට අප මුහුණ දෙන ජාතික විපත අවුරුදු 55 කට පෙර කල්තියා දැක්‌ක මානව හිතවාදයෙන් පිරුණු උතුම් හදවතක්‌ තිබුණු කොමියුනිස්‌ට්‌ නායකයාගේ චින්තනය වත්මන් තරුණ පරපුරට සැකෙවින් ඉදිරිපත් කිරීමටය. මේ පාර්ලිමේන්තුවේ සිටින කිසිම මන්ත්‍රීවරයකුට මෙවැනි නිබන්ධනයක්‌ ලිවීමට හෝ කල්පනා කිරීමටවත් ශක්‌තියක්‌ නොමැති බව අපි දනිමු.

දොස්‌තර වික්‍රමසිංහ මහතා මෙහිදී දක්‌වා ඇති කරුණුවලට අමතරව තවත් කරුණු කිහිපයක්‌ද මේ තත්ත්වයට බලපෑ ඇතැයි අපි සිතමු.

ලෝක බැංකුව විසින් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ඉදිරිපත් කරන විට එය කියා සිටියේ අවුරුදු 30 කින් එය නිමා කළ යුතු බවයි. ඊට හේතුව එවැනි විශාල යෝජනා ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරන විට විශාල වශයෙන් පාරිසරික බලපෑම් ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ඒවා මඟ හරවා ගෙනද කටයුතු කිරීමට සෑහෙන කාලයක්‌ අවශ්‍ය වන බැවිනි. ඊට කන් නොදුන් විධායක ජනාධිපති ෙ-. ආර්. ජයවර්ධන ඇතුළු පාලක පක්‌ෂය එය අවුරුදු 06-08 කින් නිම කළ යුතු බවට දේශපාලන තීන්දුවක්‌ ගත්තේය. සියලු පැතිකඩ සොයා බැලූ විශාරදයන්ගේ මතයට පයින් ගසා වසර තිහකින් නිම කළ යුතුව තිබුණු යෝජනා ක්‍රමයක්‌ වසර හයකින් හෝ අටකින්a නිම කිරීමට ගොස්‌ මොන තරම් පාරිසරික විනාශයක්‌ සිදුවන්නට ඇත්ද?

නොයෙකුත් ජාවාරම් සඳහා පස්‌ කඳු කැපීමත්, දේශපාලකයන්ගේ වැලි ජාවාරමත් අනුමත කළ නොහැකි ඉදිකිරීම්වලට ඉඩ දීමත් තත්ත්වය උග්‍ර කිරීමට හේතු වී තිබේ.

සුනාමියෙන් අපේ දිවයිනට ඇති වූ පාරිසරික බලපෑම් ගැනද මේ වන තෙක්‌ නියම විද්‍යානුකූල පර්යේෂණයක්‌ කර නැත.

දැන් කළ යුතුව ඇත්තේ දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහගේ විද්‍යානුකූල නිබන්ධනය වූ ඉදිරි මඟ පදනම් කරගෙන ජාතික සම්මන්ත්‍රණයක්‌ පවත්වා මෙවැනි ජාතික විපත් වසරක්‌ වසරක්‌ පාසා ඇතිවීම වළක්‌වාලීමට කෙටිකාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළක්‌ සකස්‌ කර ගැනීමයි. අන් සෑම ගැටලුවකට වඩා ජාතික ප්‍රමුඛත්වය දිය යුත්තේ මෙයටයි.

Our Forum

You need to log in to create posts and topics.

Forum

කාලීනLast post
New posts · Nothing new · Mark All Read